Search This Blog

Thursday, May 20, 2021

 කුලේගේ අකුරු සෙවූ වෙමි 



මා මේ කතාන්දරය ලියන්නට පටන්ගන්නේ  මෙහි කියන්නට යන දේ සිදුවී වසර 27කට පසුවය.කතාවේ අවසානය එසේ විය යුතුය .එහෙත් මේ කතාව ඊටත් වඩා අතීතයක් උරුමය. ඒ අතීතයේ උරුම කරුවන් වන්නේ 1986 ගලහිටියාව මාධ්‍ය මහ විදුහලට හා පුරා පැමිණි රෑනට සහ ඉන් ඉහල  සහ පහල පන්තිවල හදුනාගත් මිතුරන්ය . 

             එහෙත් සැබවින්ම මේ කතාව ලිවිය යුතුයැයි හැඟුනේ "සංජීව කුලසේකර" නම සොයා ගිය ගමනක ප්‍රතිපලයක් ලෙසය . නොදන්නා පළාතක කිලෝමීටර් සිය ගණනක් එපිට ගමක  ඔහුගේ නම සඳහන්  බැනරයක් සොයා ගිය ගමන ඇත්තටම මෙනෙහි කිරීමකි. 


කුලේ ගලහිටියාව මැදි විදුහලේ අපසමග එක්වන්නේ 1986 වර්ෂයේදී. 6 වසර B පන්තිය ඔහුගේ නිවහන වූ දා පටන්  කාගේ කාගේත් හිත මිතුරෙක් උනේ ඉතාම කෙටිකලකදී . එකට හේතුවුණු කරුණු අතරේ මුලිකම උනේ කුලේගේ සරල කම කියල මට හැගුනේ.ඒවගේම කුඩාකල ඉඳලම ඔහු සතුව තිබුණු තෙලිතුඩේ අපුර්ව ප්‍රතිභාව. ඒ රිද්මය කුලේටම  ආවේනිකයි.


මතක හැටියට කමල් නිවාසය කුලේ නියෝජනය කලත් අනෙක් නිවාස හැඩ ගන්වන්න උදවු නොකර හිටියේ නැහැ කිසිවිටකත්. ප්‍රධාන ශාලාව හැඩ ගන්වන්න,මොකක් හරි අමුතු විදිහට නිර්මාණය කරන්න කුලේට තිබුනේ පුදුම ඇහැක්.

 කුලේගේ මේ දක්ෂතාවය ඇත්තටම එයාගේ තාත්තගේ පුහුණුවෙන් ලැබුණු දෙයක්.පොඩිකාලේ ඉදලම පන්සල් වල චිත්‍ර ඇඳලා ලොකු පුහුණුවක් කුලේට තිබුණ. පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි ලැබීම පාසල් කාලේ ඉදලම කුලේට තිබුණ.එනිසා එයාගේ අතේ කීයක් හරි තිබුණ.එත් රැදුන් නැහැ. හැමදාමත් අම්ම තාත්තා ගැන ආදරයෙන් කතා කළා. අම්මගේ ලස්සන තාත්තගේ හැකියාව  හැමදාම අගය කෙරුව මනුස්සයෙක්.

මේ චායාරුප කුලේ හැමදාම පරිස්සම් කරපුව.
තාත්තගේ මංගල දවසේ පෝරුව වෙනුවට ගඩොල් දෙකක් උඩ ලෑල්ලක  නැගල අම්මගේ අතට පොල් මලක් දීල තිබ්බ ලස්සන සරල කතාව කිවේ, දිග පටි තියෙන කරේ පැත්තක නිතර එල්ලගෙන තිබෙන ගමන් මල්ලෙන් ඇදලා . 

 
 ඉස්කෝලෙදි පන්තියක් ගානේ තියන්න ලොකු මල්පෝච්චි හදපු කාලයක් තිබුණ. චිත්‍ර කලාව ,මුර්ති ,පෝස්ටර් ,පසුතල නිර්මාණ හැම එකකදීම කුලේ යාලුවෝ හැමෝටම උදවු කළා .   හුගක් ගෙවල්වල පිරිතට ,මංගල්‍යට ,මළගෙදරට නැතිවම බැරිඋනා.
 දන්න කියන හුගක් උන්ගේ මළ ගෙවල් වල බැනර් ඇන්දේ කුලේ . විතරක් නෙවෙයි 88 -89 කලබල කාලේ ඉස්කෝලේ තිබ්බ කලබල අස්සේ  පෝස්ටර් බැනර්  වල තිබ්බේ  උගේ අකුරු .පස්සේ කාලේ ශිෂ්‍ය විරෝදතා වැසිකිලි අස්සේ ලියල තිබුනෙත් කුලේගේ පෝස්ටර් කලාවෙන් .  පස්සේ විකල්ප දේශපාලකයින්ට  කුලේ නැතුවම බැරි උණා. එත් ඌට එහෙම දේශපාලනයක් තිබ්බේ නෑ . 

  හුගක් ටියුෂන් සර් ලා මේ ඇනලොග් යුගයේදී කුලේගෙන් උදවු ගත්ත.පන්සල් වල ලැගගෙන වැඩ කළා. කොහොම හරි ඉස්කෝලෙත් අවා..අර මන් කිව්ව් මල්පොච්චි වැඩේ වෙනම එකක්.ඉස්කෝලේ ඇතුලෙම පඩි ලබපු වැඩක් . 
 
    කිසිතැනක නොරැදෙන වගේම කිසි විටක නොනැමෙන ගතියක් කුලේට තිබුණ . යකෙකුටවත් බය නැහැ. හැමදාම අලුත් දේවල් හෙවුවා.ඒවගේම වැඩක් පොරොන්දු උනොත් කොයිවෙලාවේ එයිද කියල ෂුවර් නැති ගතියකුත් තිබ්බ. අතර තුරේ අමුතු ගති ඇති කෙල්ලන්ට කැමැත්තකුත් තිබ්බ.
       
මේ සේරම පාසල් යුගයේ කතා දුර වැඩිනිසා හුගක් දේවල් මතක් වෙනවා .කුලේ අපේ යාලුවන්ගේ හැම ගෙදරක වගේ ලකා ගහගෙන ඉඳල තියනවා. අපේ ගෙදර ඉන්න කාලේ මම කලේ photography .කුලේට එක අලුත් විෂයක් උනා .හුගක් දේවල් අධ්‍යනය කළා. 35 mm රීල් එකෙන් ශිල්පය අල්ලගත්ත. digital එනකොට හොද ශිල්පියෙක් වෙලා හිටියේ. දිගින් දිගටම පස්සේ ආදයම් මාර්ගය  
photography.වීඩියෝ වැඩත් කළා .   රාගම NEW JEM ෆිල්ම් හෝල් එකේ සේරම පෝස්ටර් කටවුට් ඇන්දේ කුලය . 9.30 ෆිල්ම් නොමිලේ බලන්නත් චාන්ස් එකක් අපේ එවුන්ට ලැබුනේ ඒ නිසා. රෑ ටවුන් එකේ රස්තියාදු ගහල පොලිස් කුඩුවේ හිටපු උනුත් හිටිය කුලය නිසා . 
   පස්සේ කුලය රට ගියා .කසාද බැන්ද කියලත් ආරංචි උණා .එත් උගේ පවුල කවුද කියල අපි දැනගෙන හිටියේ නෑ. (අපි යන මේ ගමනේදී ඉස්සල්ලම ඇය අපට හමුවන බව දන්නවා .)
      බහරේන් වල කුලේ අවුරුදු 10ක ට ආසන්නයි. එක තැන හිටියට එතන මොහොතින් මොහොත වෙනස් කලේ කුලේ .එනිසාම කුලේට ලොකු පිළිගැනීමක් තිබුණ. ඔහු එතන ලස්සන කළා .


ජීවිතේට හිතන්නෙවත් නැති විදිහට ලංකාවේ එළවලු එහෙ කාන්තාරේ වගාකලා .ඉන් විසල් තෘප්තියක් ලැබුවා. ඒවා එහෙ ඉදල අපිට පෙන්නුවේ හරි සතුටින් . ලංකාවේ හැම එළවළුවක් වගේම වගා කළා .එහෙ හැම උත්සවයකටම උදවු කළා .කොචරද කියනවනම් ලංකාවෙන් පොල් පැලයකුත්  ගෙනත් හිටෙවුවා .

එක දැන් ගානකට හැදිලා . එහෙ පසත් එක්ක පුදුමෙට ඔට්ටු උනා .හැමෝම ඔහුට උදවු කළා .එනිසාම දවසින් දවස උගේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න හැකිවුනා .මේවා ඌ හැදුවේ දරුවෝ වගේ කියල කතා කරනකොට කියල තියනවා .

කිසි දෙයකට කම්මැලි නැති  මිනිසෙක් විදිහට මේ හැම දෙයක්ම කලේ සතුටෙන් . එක වරක් බහරේන් වැස්සට යට උනා. එක එයාට අමුතු වැඩක් .දවසක් live ෆේස් බූක් ප්‍රචරයකුත් දුන්න මගෙන් හොදද කියලත් ඇහුව . ඒ උගේ හැටි .https://www.facebook.com/sanjeewa.kulasekara.75/videos/1766514250113979/
 
කුලේ හරි සතුටු උන කරුණක් තිබුන .එයාට අවස්ථාව ලැබුන මක්කම යන්න. මේ උගේ වචන

 "
බුදුරජාණන් වහන්සේගේ දකුණු පාසටහනඇති ශුද්ධවූ හූමිය සියැසින්ම දැකබලා ගැනීමට(බෞද්ධ අටුවා ග්රන්ථයන්හි සඳහන් පරිදි ) පසුගිය සතියේ රමණීය දිනක මාහට අවස්ථාව උදාවිය.ඒ අවස්ථාව මාහටලබාදුන් බහරෙන් රජයටත් ඒ සඳහා ඇපකැපවූ බහරේන් ඩිස්කවරි” ස්ලාම් ආයතනයේ සා මාජික මහතුන්ට සහ සෙසු සාමාජිකහිතවතුනට හා මා හට එම ගමනට සහභාගි වීමට අවශ්ය නිවාඩු ලබා දුන් මාගේසේවාආයතනයේ ඉහළ නිළධාරීමහතුන්ටත් මා බෙහෙවින්ම ස්තුතිය පුද කරන අතරම, බෙහෙවින්ම පිං අනුමොදන් කරමි.ශ්රී ලංකාවේදී බුදුරජානන්වහන්සේගේ ශ්රී පාදස්ථානය අටවතාවකට වඩා මා වැඳපුදා ගෙනඇති බවත්,ඉතාමආඩම්බරයෙන් ප්රකාශ කර සිටිනඅතරම,බුදුරජාණන් වහන්සේගේ දකුණු පා සටහනවැද පුදාගැනීමටඅවස්ථාව ලදඑකම ශ්රී ලාංකික බෞද්ධ පුරවැසියා මාවන බවට සැකයක් නොවනු ඇත.ඒ බව ඉතාමත්ආඩම්බරයෙන් මා ප්රකාශ කර සිටිමි. " 
සියල්දාල  හදිස්සියේ ලංකාවට ආවේ දුවගේ කොටහළු මගුලට.අවායින්

පස්සේ කුලේ ටිකක් අසනීප වෙලා තියනවා .මොලේ නහරේක ප්‍රශ්නයකුත් තිබිල තියනවා .වකුගඩු ප්‍රශ්නයකුත් එක්ක.අවස්ථා කිහිපයක්ආපසු යන්න උත්සහ කලත් අසනීප තත්ත්ව බාදා වෙලාලු .
විසල් ලෝකයේ අමුත්තන් සොයාගිය ඔහු කවරෙක්ද ?ජීවිතේ අවසාන අරමුණ වුයේ කුමක්ද ?නෑදෑයෝ වුයේ පිටස්තරයෝද ?මං මුලාවුනිද ? නැතිනම් තීර්ථ යාත්‍රිකයෙක් ද ?                                                               

මහා වෙල් යයාකින් පසු ඔහුගේ නිවසට යන මග සලකුණු සොයා ගත්තෙමු .එහි බැනරයක් නොතිබිණි .වරක් කුලේ  මටද බැනරයක් ඇඳ එල්ලුවේ පාසල් සමයේය .මැරුණු දාට එල්ලන්න මම එය ගෙදර ගෙන විත් කොහේ හෝ දැමුවා මතකය . 
   

පුංචි කදු     මුදුනක ඔහුගේ පුංචි නිවහන තිබිණි . එහි හුදකලාවේ කුලේ වැතිර සිටියේය .මමත් කලන මිතුරු තිසර ප්‍රියංකර ත් ඒ සසල මොහොත දරාගත්තෙමු .පුංචි දැරිවියත් ,පුතත් දේහය අසල බලාසිටියේ දරාගත නොහී බොහෝ දේ සිරකරගෙනය .  මට හැගුනේ මා මියගොස් දරුවන් බලාසිටිනා අයුරුය .  
 
සුසානයක විශිෂ්ටයෙකුගේ සොහොන් කොත දකිනවිට හද දයාවෙන් තෙත්වෙයි .සුන්දර මිතුරෙකුගේ සටහන් මෙනෙහි කරන විට ආශාවන් පලායයි .අපටද දවසක හිමි වීමට නියමිත ඉරණමක් පිලිබඳ දුක්වීමේ නිස්සරභාවය අවබෝධ කරගතිමි .

සහභාගීත්වයෙන් තොර කැපවීමක් තිබෙන්නට හැකියාවක් නොමැත.සියල්ල ඔබ පසුපස සුසානය දක්වාම තනි නොකළේ එබැවිණි. ජීවිතය ලිහී ලිහී යද්දී ඔහු ජීවිතයට එක්කර ගත්තේ දාර්ශනිකතවයකි .
සරත්චන්ද්‍රයන් මලගිය ඇත්තෝ හි ලියා තිබුනේ "ජීවිතය එතනින් මෙතනින් එල්ලෙන පන් ඉරිවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන බවය . මිනිසා මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණෙයි ."


එහෙත් කුලේ සොයා මරණය ලුහුබැන්දා යැයි මට සිතෙයි .අත නොහැර සුසානය දක්වාම අපි ගියෙමු. .දැවෙන දේහයේ සුසුම් ඉහල වාතලයට මුසුවෙනුබලා සිටියේ සියල්ල මෙනෙහි කරමිනි .
 
කතාවේ අවසානයක් ලියා තැබිය යුතුය .කුලේගේ අකුරු කොහිවීද ?  කුලේට සමුදී මහ රෑ ගෙදරවිත් අතීතය අවුස්සා බැලීමි .ඒ 1994 වසරයි .ඒ ගලහිටියාවට වසර 50 සපිරෙන වසරයි . ඒ වෙනුවන් පිරිත් සජ්ජායනා ව සංවිධානය කලේ   බෞද්ධ ශිෂ්‍ය සංගමයයි .

ඉදිරිපස විසල් බැනරයක් ඇඳ එල්ලීමට අපි යෝජනා කළෙමු .ඒ කුලේ හිතේ සිටි නිසාය .උසස්පෙළ කලාව ඔහු හැදෑරුවේ කැලණිය ගුරුකුළේය .එත් ඔහු වැඩිපුර සුදු ඇදුමෙන් හිටියේ ගලහිටියාවේය .   එක රැයක් එළිවෙනතුරු කුලේ සමග නිදිවරා අපි මේ දැවැන්ත බැනරය එලලීමු .කුලේ පාසලට අභිමානයක් ගෙනදුන් වෙනස් මිනිසෙකි .මා මේ සටහන අන්තර්ජාලයට මුසු කරන්නේ ඔහුගේ වටිනාකම කොහේ හෝ සටහන්ව තිබිය යුතු බැවිනි .

සියලු දෙනාටම එය මෙනෙහි කරන්නට අවස්ථාවක් වන බැවිනි .  කුලේ ගේ අකුරු සොයා යාම ජීවිතය කියවීමකි .මේ බිමේ හදුනාගත් ඔබට වසර27 පැරණි මේ චයරුපය පුදකරමි .ඔබ විශිෂ්ට පැරකුම් මවගේ දරුවෙකි . ඉක්මනින් ගියහොත් ඉක්මනින් යලි ආ හැකිය ...ඔබට සුබ ගමන් .
මම හිතාදර මිතුරු සුරේ ....(සියලු මිතුරන් වෙනුවෙන් )

                              





 
 



Wednesday, January 9, 2019

අබේසුන්දර සර්ගේ විද්‍යා කාමරේ 

මේ කතාව අසූව දශකයේ මැද වකවානුව තරම් ම පැරණිය . ගලහිටියාව මැදි විදුහලට .මුල් වරට පාතැබූ දිනය අද වගේම මතකයේ රැදෙයි .   පුංචි පාසලක උදේ රැස්වීම්   හුරු අපට ගලහිටියාවේ  උදේ රැස්වීමේ  පිළිගැනීම් නුහුරුය .අනුශාසනා ,පිළිගැනීම් අතර  මා දුටු අපුර්ව ආචාර්ය වරයෙකුගේ වින්දනීය  කතාව ස්වරුපය    අදට ත්  මතකය අවදි කරයි .
                ඔහු මයික්රපොනය ඉදිරියට ආවේ පුංචි කැසට් යන්ත්‍රයක් කරේ තබාගෙනය ..ඔහුගේ කතාව කෙටිය . ජාතික හැගීම ගැන මදක් කතාකරයි . ඉන්පසු  කැසට්  යන්ත්‍රය ක්‍රියාත්මක කරයි .සුනිල් සාන්ත ගී කොටසක් ඇසෙයි .ඔහු යලි කතා කරයි . එවර   ඔහු ගායනයක යෙදෙන්නේ  කැසට් යන්ත්‍රය  කරේ තබා ගෙනය .. අනතුරුව යලි කතාව පවත්වා ගෙන යයි .  කතාව නවතා යලි කැසට් යන්ත්‍රය පන ගන්වයි . ඔහු කියූ කතාවට ගැලපෙන ගීයක්  ධර්මදාස වල්පොලගේ හඩින් ඇසෙයි. (දැන් මේ ශිල්පින් හදුනා ගත්තට  ඉස්සර මොකුත්ම  දන්නේ නැත .)කුඩා අපට මෙයනම් මහත් ආශ්වාදය ගෙනදුන්නකි .  ඉන්පසු  මේ සර් ගේ නම   හොදට  මතකය .ඒ අබේසුන්දර සර් ය .
             මීළඟ  ඡේදය අබේසුන්දර සර් , මා නිවේදකයෙක් ,මාධ්‍ය වේදියෙක් ,නිර්මාණ වේදියෙක් ලෙස නිමවුමක් බවට පත් කලේ කෙසේදැයි ඔබට කීමට ය .ඒ 6 E පන්තියයි . විද්‍යා විෂය ඉගැන්වීම පිණිස ගුරුතුමියක් සිටියද මසකට දින කිහිපයක්  අබේසුන්දර සර් ගේ විද්‍යාගාරයේ  ඉගෙනුමට භාග්‍ය ලදිමි .

     එය හරි අපුරු තැනකි .බැලු සැම අත පරිසරයේම  කොටස් විද්‍යාගාරය තුලය .ගහ කොළ පත්‍ර ,පිහාටුවේ සිට  බොහොදේය .මේ කාමරයේ  වටිනාම දේ සර් ලගට ගෙන තිබිණි .ඒ කැසට් යන්ත්‍රයයි .මිට පෙර කැසට් යන්ත්‍ර නොදුටු අපිට මෙයනම් පුදුමයකි .එහි අපේ හඬ පටිගත කල හැකි බව සර් පෙන්වා දෙන්න සුදානම්ය .එසදහා   සර් පාඩම් පිටපත් කිහිපයක් සකසා තිබිණි ,දැන් හඬ පරීක්ෂණය පවත්වයි .පන්තියේ හුග දෙනෙක් ගේ VOICE සර් පරික්ෂා කරයි . දැන් මගේ අවස්ථාවය . අවස්ථාව සංයමයෙන් ප්‍රයෝජනයට ගතිමි  .සර් තෘප්තිමත්ය .එදා පන්තියේ මුල් පටිගත කිරීම් වලට මා තෝරා ගත්තේ සර් විසින්මය .සර්ගේ විද්‍යා පාඩම් මම VOICE කලෙමි .එහි උච්චාරණ විදි සර් කියා දුන්නේය ..පටිගත කිරීම් මේ පුංචි යන්ත්‍රය ඉදිරිපිට තනිව කරන හැටි කියා දුන්නේය .RECORD කරන්න බටන් දෙක එකවර එබිය යුතු බව සර් ඉගෙන්වුවේය .සියල්ලට වඩා ආශ්චර්යය වුයේ මගේ හඬ ප්‍රථම වරට  මා විසින්ම ඇසීමය ..පන්තිය ඉදිරිපිට සර් මගේ හඬ පිලිබඳ කල තක්සේරුව  තාමත් මතකය ..සර් එම ප්‍රකාශය කලේ දවසක මට වැරදුනු මොහොතකය .එදින කොට්ටෝරුවා යන්න මා කියා තිබුනේ කොම්බෝරුවා  කියාය .සිනා හඬ අතර   අබේසුන්දර සර් කිව්වේ මේ හඬ කවදා හරි රටේ නමක් තියන නිවේදකයෙක් ගේ හඩක් වනු බවය ...එදා හිරිවැටුණු එම තක්සේරුව මා පිලිබඳ  නිවැරදිම තක්සේරුව කල ප්‍රථම අවස්ථාව යි .ඉන් නොදැනීම මා පන්නරයක් ලැබීය ...කැසට් පටය මගේ මිතුරෙක් විනි .නිවේදන ඒකකය අතිශය සමීප මිතුරෙක් විනි .මයික්රපොනය  ආගන්තුක නොවිණි .ගීත ආගන්තුක නොවිණි .අමුද්‍රව්‍ය ඇතිව AUDIO වැඩ කරන්න පෙළබිනි .
          කාලය සර් ගෙන් සමුගතයුතු බව පසක් කරයි .අද දක්වා ඔබ නැරඹු රූපවාහිනී සහ ඇසු ගුවන්විදුලි වැඩසටහන් තුල ආකෘතිය සර් ගේය .එය IDIOLOGY එකකි .ඔබ ඇතිකළ එම දෘෂ්ටි වාදයට මා අතිශය  ගරු කරමි ....ඔබට නිවන් සුව !
           

                                                    

Thursday, June 14, 2018

පායා නැගී ආ රන් තාරකාව හුදකලා විරාමයක නික්මී ගියේය.


පායා නැගී ආ රන් තාරකාව හුදකලා විරාමයක නික්මී ගියේය.


බොහෝ විට එම සැඳෑවන් මිහිරිය .රජරට කරක් ගසා වැලිවේරියට පැමිණි පසු නිතර ඔහුගේ මිත්‍ර ඇසුර අඩු නැතිව ලැබිණි. අද මෙන් නොව විවේක බුද්ධියෙන්   යුතුව ජීවිතය ගෙවුණු ඒ සමයෙහි  රසවත්ව ඔහු සමග  සැඳෑවන් ගතකරන්ට කාලය අඩු නැතිව තිබිණි .පළමුව සහ දෙවනුව මදුවිතද, ඉන් ඉක්බිති රජරට පුරානයද , අනතුරුව නවමු නිර්මාණ ගැනද ,ඔහු රසවත්ව  මෙන්ම හැගීමෙන් කතා කළේය .ඒ රාත්‍රීන්  තව දිනකට  පහන් කල  බව නම්  කිව යුතුමය  .  එකල  ඔහුට අඩු නැතිව ගුවන්විදුලි වැඩසටහන්ද ,රූපවාහිනී වැඩ සටහන්ද තිබිණි .එනිසාම  ගීත ඇල්බමයක් දක්වාම ඔහු දිරි ගන්වන්නට හැකිවීම ගැන මේ මොහොතේ උවද සතුටු වෙමි . මන්ද ඔහු අප හැරදා ගියද,  නිර්මාණ පමණක් ඉතිරිව ඇති බැවිනි . සිරිල් අයියා යනු කවරෙක්දැයි  බොහෝ දෙනෙක් නොදන්නා  .මොහොතක  ඔහු පිලිබඳ කෙටි රචනයක යෙදෙමි . 


මේ  ඔහුගේ සිරිපොදවස්ස ගී එකතුවේ නිර්මාණාත්මක අවදියයි.  ඔහු වඩාත් සතුටු වුයේ ගීතය හා හැගීම එක් කර ලත්  උද්දීප්තිය නිසාය .දයාන් විතාරණ එය මිමිණු අයුරු සිහි කල හැක්කේ අතීතය සුරැකි බැවිනි . 



    
එදා ගැයූ  මෙම ගීය දයාන් පසු කලෙක සිත්තම් කරමින් ගී එකතුවට මේ ගීය මුසු කර තිබිණි 








සිරිල් අයියා අයත් වන්නේ රජරට කුලකයටය .එහෙත් ඔහු රජරට පමණක් අයිති ශිල්පියෙක් නොවුනි .රජරට ගුවන්විදුලි සංස්කෘතිය රටට විහිදවූ කපුගේ ලා මෙන්ම නව පරපුරකට දායකත්වය අඩු නැතිව සැපයීය .එම නිර්මාණ ගුණාත්මක අගයෙන් ඉහල යැවුයේද රසික ප්‍රසාදයමය .





දෙනුවන් වැසී ඈත  තරු නෙත් වැසී ....
තනිව හඬනා රැයේ ...
 හදට දී වේදනා 
එක්වී ලගින් ඉන්න  ලංවී සිනාසෙන්න .....
සේපාලිකා .....

ඔහු රජරට වාදක මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය .එසේම රජරටින් මතුවන නව පරම්පරාවට ප්‍රනීත  තනු නිර්මාණය කළේය. වේරලියද්ද ගේ නන්දනීය පෙම ,මල් පබා අතිශය ජනාදරයට ලක්විය.


 රජරට සේවයේ අතැම් නිර්මාණ සඳහා එවකට ප්‍රාදේශිය වශයෙන් විසිර සිට දක්ෂ වාද්‍ය ශිල්පීන් රජරට සේවයට කැඳවා ඔවුන්ගේ කැපවීම්මත පටිගතවූ ගිතවලට සිරිල් පෙරේරා මහතාගේ සහය නොමදවම ලැබුණි.දිවුල්ගනේ වෙනුවෙන් ඔහුගේ නිර්මාණ රැසකි . සිරිපොද වැස්ස  ගීතය මෙහිලා විශේෂිත ය

දයානන්ද රත්නායක ලියු ආදර මල් දිවුල් ගැයූ තවත් ආදරණීය ගීතයකි .


අද මෙන් එවකට පටිගත කිරීමේ ශබ්ධාගාර නොතිබූ බැවින් සියල්ල එළිමහනේ පටිගත කිරීම සිදුවූයේ ගායක ගායිකාවන් සහ වාදක මණ්ඩල එකවර පුහුණුවකින් පසුවය. ජයතිලක බණ්ඩාර ගැයූ  සඳ වලාරෝදක සැන්ගී  හැබවින්ම ජීවිත කතාන්දරයකි .

ජනප්‍රිය සංස්කෘතිය අපුර්ව ලෙස හදුන්නගන්නට ඔහු නිර්මාණ තුලින් උත්සහ දැරීය.   කිත්සිරි ජයසේකර මීපැණි රහසක් ,අසංක ප්‍රියමන්ත හුදකලා විරාමය උදාහරණය .

රෑ පුරා හෙළු සුසුම් වලට විරාමය නොදී නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී.... ගැයුම: විශාරද එඩ්වඩ් ජයකොඩි ගී පද: දයානන්ද රත්නායක සංගිතය : සිරිල් පෙරේරා



වේරලියද නිරෝෂා ගැයූ  ඔබෙයි මගෙයි මේ සෙනහස සැබෑම ආදරය තනුවකින් ප්‍රකාශ කිරීමකි .
හිතුවක්කාරී ගීතය ඔහු තවමත් තරුණ නිර්මාණ කරුවෙක් බව ප්‍රකට කළේය.
රොඩ්නි වර්ණකුල ගයන 'සිරියාවි නුඹට මම   ශිල්පීය හැඩතල හොදින් හදුනාගත් අවස්ථාවකි .
ජානකී සුමිත්‍රා දිසානායකගේ සිහිල් පැන්හල සිරිල් පෙරේරාගේ මධුරතර සංගීත නිර්මාණවලන් හැඩවූ ගීත නිර්මාණ අතරින් එකකි .එසේම එය රජරට නියෝජනයකි .





 ප්‍රදිපා ධර්මදාස, නිරෝෂා විරාජිනී, සශිකා නිසංසලා, නෙලූ අධිකාරි, උරේෂා රවිහාරි සහ රොඩ්නි වර්ණකුල ආදී ශිල්පී ශිල්පිණියන්ට සිර්ල් පෙරේරා මහතා විසින් බොහෝ ගිතනු නිර්මාණය කර දී තිබුණි.
පසුගිය වසර කීපයක සිට පිළිකා රෝගය සමග ජීවත්විම උදෙසා මහත් වෙහෙසක් දැරීය. මිය යනවිට ඔහු 73 වන වියේ පසුවිය.
 ඔහු අවසානයට ගීතය පිලිබඳ දැරූ අදහස  ඔහුගේම  හඬින්  සමරු සටහනක්  ලෙස මෙලෙස සටහන් තබමි 

.

Wednesday, March 15, 2017

පාළු සුසානයක ෆැන්ටසිය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 02

පාළු සුසානයක ශීතල මළ සිරුරක්  සමඟ රමණය  හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 

     ලාංකිකයාගේ විවාහ ජීවිතය  ඉතාමත් සිත් ගන්න සුළුය .සාමකාමිය .දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතී.ඉඳහිට  පවත්වන  ළමයින්ගේ උපන්දින උත්සව , සැමියාගේ බිරිඳගේ විවාහ සැමරුම් උත්සව වලින්  එය තවත් අලංකාර වෙයි.හදිස්සියේ ලැබුණු උසස් වීම් නිසා පවුලේ  අනාගතයේ නව බලාපොරොත්තු දැල්වෙයි .
උදේට  තම දරුවනුත් සමග  කාර්යාලයට යාම පිණිස  ලස්සනට ඇඳ පැළඳ  නිවසින් පිටත් වන මෙම යුවලවල් දැකීම ,දකින්නාගේ දවස ද සුබදායක කරවයි.සති අන්තයට  තමා දරුවනුත් සමග  අලුතින් මිලදී ගත කාරයෙන්  තම දෙමවුපියන්ගේ  නිවෙස් වලට මොවුන් එන හැටි බලා  දෙමවුපියන් සතුටු කදුළු වගුරවයි ."අපි අපේ යුතුකම් හරියට ඉෂ්ට කළා." ඔවුන් ආඩම්බරයෙන්  අවට අයට කියයි



Add caption
.කලින් වැඩ ඇරී ආ දවස් වලට මොවුන් කරන්නේ  සාප්පු සවාරියේ යන එකය .එදින ඇඟ  සෝදා ගෙන  ළමයිනුත් සමග මොවුන්  කාගීල්ස් ,කීල්ස් ,හෝ සුපර් මාකට් එකට යයි .ස්වාමියා කොට කලිසමකින්  හා අත් කොට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී සිටී .ස්ලිපර්ස් දමාගෙන පැමිණ ඇත්තේ පහසුවටය තම වාහනයේ  යතුර තමාගේ මංගල මුදුව ඇති  ඇගිල්ල ලඟම ඇඟිල්ලට  දමා කරකවමින් සිටින්නේ තම බිරිඳ සේම තම වහනයද , තමාට එකසේ  වටින බව කියාපාන්නට මෙනි.
බිරිඳ ඩෙනිම් ජීන්ස් එකකින් හා සැහැල්ලු  ටී ෂර්ට් එකකින් සැරසී ඇත . ඇයගේ අතේ  සැමියාගේ සෙල්ෆෝනය නිතර රැදී ඇති අතර සැමියාට ඇමතුමක් පැමිණි විගස ඇය පළමුව කතාකර එය සැමියාට දෙයි .එය ඔවුන්ගේ අන්නෝන්‍ය විස්වාසය පිළිබද  අපේ ඇති විශ්වාසය තවත් වැඩි කරවයි .ළමයින් දෙදෙනා සුපර් මාකට් එක තුල නිදහසේ  කෑගසමින් දුව යයි .බිරිඳ ට්‍රොලියක් තල්ලු කර
මින් දරුවන්ට  හා නිවසට අවශ්‍ය බඩු එකතු කරයි .
සැමියා අත් දෙක බැදගෙන ආඩම්බරයෙන්  වට පිට බලමින්  ඇය පිටුපස යන අතර ඉඳ හිට රේසර් එකක් ,ෂේ්වින් ක්‍රීම් ක්‍රීම් එකක් ගෙන  ට්‍රොලිය තුලට දමයි .එමෙන්ම  ළමයින් තොර ගෙන එන චොකලට් ටිපි ටිප් වැනි දේ ගෙන ඒවාද ට්‍රොලියට දමයි .
Add caption
අවසානයේ දී  ඔහු බිල ගෙවන අතර  සියල්ලන් එලියට විත් සුපර් මාකට් එකේ සේවකයෙක් තමන් ගත බඩු සියල්ල උස්සගෙන විත් කාරයේ ඩිකියට  දමනු සතුටින් බලා සිටියි .මේ දෙස බලාගෙන සිටින පාරේ බස් වල දහදිය දමමින් තෙරපෙමින් යන අයගේ සිත් තුල විවාහ ජීවිතය ගැන  උණුසුම් බලාපොරොත්තු ඇතිවෙයි .

             කාර්යාල වෙලාවේ ඉඳහිට එන ස්වාමියාගේ හෝ බිරිඳගේ  දුරකථන ඇමතුම විවාහ ජීවිතයේ  අවබෝධය සුරක්ෂිතභාවය  තවත් වැඩිකරවයි.

එසේත් නැත්නම් බිරිඳ විසින් ඔතා  එවූ දිවා ආහාරයේ සශ්‍රීකත්වය ,සැන්දෑවට ලැබෙන  දොඩම් වීදුරුව ,හෝ කිරි කෝප්පය ,ඉඳහිට හදන  කේක් එක ,පුඩින් එක  විහාහ ජීවිතයේ රස පිළිබඳ බලන් ඉන්නන්ගේ ආශාව වැඩි කරවයි .හදිස්සියේ  බිරිඳ/ස්වාමියට  ලෙඩක් හැදුනු විට ස්වාමියා/බිරිඳ/ඇයට/ඔහුට  සලකන ප්‍රමාණය  දකින අයට තමාත්  රෝගියෙකු වීමේ ආශාවක් පහල වීම  පුදුමයට කරුණක් නොවේ .
කෙසේ හෝ අඳුනන දොස්තර වරයෙකුට කියා දැනට ඇඳක ඉන්න ලෙඩෙක් බිමට දමා තම ස්වාමියා හෝ බිරිඳට  ඇඳක් අරන් දී දොස්තර වරයා තහනම් කරන කෑම පවා හොරෙන් ගෙනත් දී තම දොස්තරවරයා  ද ,නර්ස් ද ,ඇටේන්ඩන්ඩ් ද, ලේබර් ද , අවසානයේ මුළු රෝහල ද ,බවට පත් වෙන ආදරණීය සැමියන් /බිරිඳන්  අපට දැකිය හැකිය .
                                                                                              සැන්දෑ කාලයේදී  ස්වාමියා  හා දරුවන් නිවසට අලුතින් ගත් වහනය  සෝදයි .
මල් වලට වතුර දමමින් සිටින බිරිඳ
ඒ දෙස ආශාවෙන් බලාගෙන  සිටින අතර එය දකින සමහරුන් යන්න යන ගමන අතරමග අතහැර කපුවන්  සොයයි .යම් දිනක රාත්‍රියේ කවුරුන් හෝ යම් නිවසකට ගිය විට ඔහුට ඒ ගෙදර  සැමියා බිරිඳ දරුවන් කෑම කමින් ප්‍රීතියෙන් සිනාසෙමින් ටෙලි නාට්‍ය  බලන ආකාරය දැක ගත හැක .
මේ ලංකාවේ  විවාහකයින්ගේ  ජීවිතය අපට දර්ශනය වන එක් ආකාරයකි .ලාංකිකයන්ගේ විවාහයේ තවත් පැතිකඩක් ඇත .                                  (මතු සම්භන්ධයි )


(මේ ලිපියෙහි  මාතෘකාව තරමක් පැරණිය.එය කෙතරම්ද යත් මුල්වරට මෙය පළවුයේ  LONDON 2003 ජුනි  කලාපයේය .එවකට X කණ්ඩායම වෙනුවෙන්  ලියා තිබුනේ බුද්දික බණ්ඩාරය. එය අදට වඩාත් උචිත බැවින්  මතු දිනක ජාල ගත කරන්නට සිතුවෙමි  )

Sunday, March 12, 2017

පාළු සුසානයක ෆැන්ටසිය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 01

පාළු සුසානයක ෆැන්ටසිය  හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 

  මේ ලිපියෙහි  මාතෘකාව තරමක් පැරණිය. එය අදට වඩාත් උචිත බැවින්  මතු දිනක ජාල ගත කරන්නට සිතුවෙමි.ඒ සදහා  න්‍යායක් (theory ) ගොඩ නැගිය යුතුයි යැයි මම සිතමි . මන්ද යත්  අද්‍යතන සමාජය සීග්‍රගාමී  පරිවර්තන යුගයක් පසුකරමින් සිටියි.  මෙය පශ්චාත් නුතනය  තුළ  ඔබ  හදුනා නොගත් මානව ලක්ෂණයන්   විඛණ්ඩනය කිරීමකි. 

  
         සාම්ප්‍රදායික සමාජය තුල සිදුවූ යාන්ත්‍රික ඒකාබද්දතාවය හෙවත් සාමූහිකත්වය නවීන සමාජය ඓන්ද්‍රීය ඒකාබද්දතාවය මගින් අතික්‍රමණය කර තිබේ. එය ආකල්පනය කරන්නේ සමාජය තුල පුද්ගලභාවය (individualism) සහ පුද්ගලවාදී ප්‍රවනතාවයන් වර්ධනයකි.එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුල විභේදනය සහ විසංවිධනය වර්ධනය වී සමාජ එකාබධාතාවයට තර්ජන එල්ල කරයි .

මෙය සෘජුව මෙන්ම වක්‍ර ලෙසද  පවුල් සංස්ථාවට බලපෑම් එල්ල කරයි.  "මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාම  සඳහා  යම්කිසි මතවාදයක හෝ අදහසක අවශ්‍යතාව පෙන්වා දුන් නීට්ෂේ ඉන් තොරව මිනිසාට පරිසරයට අනුවර්තනය විය නොහැකි බව පැහැදිලි කළේය .පුද්ගලයාගේ මානසික ලෝකයට  බොරුව ,ප්‍රෝඩාව ඇතුල් වන බවත් එහි විශේෂ භූමිකාවක් මිත්‍යාවට හිමිවන බව"ද  වැඩිදුරටත් නීට්ෂේ පෙන්වා දුන්නේය.   මිනිසාගේ මෙම භූමිකාව  සමාජ ගත  කිරීම සදහා අද්‍යතන ජනමාධ්‍ය  නිර්මාණාත්මක කාර්ය භාරයක් ඉටුකරයි .මිනිසුන් ලබන අභිප්‍රේරණයන් (motivation) මත එකිනෙකා සමාජය  මගින් නිර්මාණය කරගත් ආකෘතින් පවතී. මෙම අභිප්‍රේරණනයන් වේගයෙන් වර්ධනය වන ප්‍රචාරණය මත රඳා පවතී .




             පැරේතෝ   ප්‍රකාශ කරන්නේ එක් එක් පුද්ගලයා සමාජ ක්‍රියාවලින්ට ප්‍රවේශ වන්නේ තාර්කික හෝ විද්‍යාත්මක දැනුමකින් තොරව බවත්  සම්ප්‍රදායන් ,හැගීම් ,සහජ ඥානය,පුරුදු  ආදී මත පුද්ගලයන් සමාජ ක්‍රියාවන්ට සහභාගී වන බවය . ඒ අනුව තම ජීවිත රටාව හසුරවා ගැනීමට සන්නිවේදනික මිනිසා උත්සහ දරයි. වර්තමාන මිනිසා ප්‍රචාරණය තුල සිරවී ඉන් පරාරෝපනය  වී සිටී .මිනිසා තම හැගීම් .අදහස් ,ආකල්ප ,ලිංගික ජීවිතය ,චින්තන හැකියාව  මෙන්ම යමක් විශ්ලේෂණය කර අවබෝද කරගැනීමේ  හැකියාවද නුතන සන්නිවේදන ප්‍රවාහය තුල අහිමි කරගෙන තිබේ.

           අතීතයේ සිට තමා වටා තිබු ප්‍රකෘති  ආධ්‍යත්මික සංස්කෘතික පරිසරය නැතිකර ගත් මිනිසා ජන සන්නිවේදන මාධ්‍ය හරහා ගොඩනගා ගත් කෘතීම , යාන්ත්‍රික පරිසරයක සිරවී තම  විඥානයට බලපෑම් එල්ල කරගනිමින් සිටියි.තම ක්‍රියාවන් දැඩි පාලනයකට ලක්වී තිබෙන බව තමාටම  වැටහීමක් තිබුනත් ඉන් මිදීමට මිනිසාට නොහැකිය .
    අද බාල පරම්පරාවට අදාල දැනුම ,සාරධර්ම  ලබාදෙන්නේ  වැඩිහිටි පරම්පරාව විසින් නොවේ , දැනුම සහ සංස්කෘතිය ,සාරධර්ම නිෂ්පාදන ආයතන විසිනි . ඒවා නිෂ්පාදනය කරන්නේ මහාද්වීපයන්ට එහා සැතපුම් දහස් ගණනක් දුරිනි .
එය ගෝලීය බලපෑමකි .ඒ අනුව පන්සල පාසැල වැඩිහිටි අහෝසි වී යයි. වර්තමාන සංස්කෘතිය ප්‍රාග්ධන ආයෝජනයේ  මුලික ක්ෂේත්‍රයකි .ඒ අනුව සමාජ සංස්ථා සංකීර්ණ ,සුක්ෂම අන්තර්ගතයක් නිරුපනය කරයි .එය අවබෝද කරගත නොහැකි තරමට ගුප්ත හැගීම් සහ ක්‍රම විධි මගින් සංකීර්ණ වී තිබේ.මුලික ලෙසම මෙහි බලපෑම විවාහ ජීවිතය සමග බද්ද වෙයි.විවාහය මෙන්ම අඹුසැමි  ජීවිතයද  ගෝලීය දේහයක් බවට පත්ව තිබේ.
වර්තමාන  ගෝලීය ජනමාධ්‍ය වේද  ක්‍රියාශීලී සුක්ෂම  ලෙස නවීනමිනිසා සංසිදුවයි.වඩාත්සෞන්දර්යකරණය  සාමාන්‍ය වී තිබේ .වර්තමාන බහුජන සංස්කෘතිය තරුණ ආධ්‍යාත්මික ඇගයීමේ ස්වරූපයයි .මේ නිසා කලාව තුල අපුර්වත්වය ,අලංකාරය ,සුන්දරත්වය ,වින්දනය සොයනවා වෙනුවට විනෝදය පමණක් සොයයි.
උවමනාවට වඩා සුන්දරවීම තුල මිනිසාගේ ජීවිතය එන්න එන්නම අදුරු වී තිබේ .

වර්තමාන සමාජයේ සංස්කෘතික වටිනාකම තීරණය වන්නේ එහි ප්‍රදර්ශනාත්මක භාවය මත වන්න අතර  එමගින් ඕනෑම නිර්මාණයක් , සෞන්දර්යක් නිස්සාර බවට පත් කල හැකිය .නොගැඹුරු සාටෝප මිනිසුන් ඉන් බිහිවී  බෙලහීන චින්තනයක් බිහිව තිබේ.  
 (මතු සම්භන්ධයි  )

Wednesday, March 8, 2017

අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා


අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා



ජීවිතේ විවිද නිම්ම්න හරහා  ගමනේ යෙදෙන තීර්ථ යාත්‍රිකයන් හමුවන්නේ බොහොම කලාතුරකින් .එහෙම මිනිසුන්ගේ ගමන් මල්ල පිරිලා තියෙන්නේ අත්දැකීම් වලින්.  බන්දුල නානායක්කාරවසම්  කියන්නේ එහෙම අනවරත  ගමනක යෙදෙන තීර්තකයෙක් . අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා" හෙට  නෙලුම් පොකුනේදී අපව හමුවෙන බව ස්ථිරයි . හෙට  සුන්දරම රාත්‍රියයක් නම්  මේ ඊට පෙරයම  සිහින දකිනා රාත්‍රිය .අහගෙන ඉන්න බන්දුල අය්යියට වගේම  ඔබ සියළු දෙනාටමත්  මේ සිහින පොදුයි.
  මේ ගීතය අපේ ළමා ලෝකය සුන්දරත්වයෙන් නාවපු ගීයක්. ඒ කාලේ මේ ගී අහන කොට බන්දුල  නානායක්කාරවසම්  කවුද කියල දැනන් හිටියේ නෑ.එත්  අඹ යහළුවෝ නාට්‍ය tv එකේ යනකොට කැසට් රෙකෝඩරය ලගින් තියල මේ ගීත පටිගත කරගත්ත  මතකයි .

 ඔහු ලියු මේ ගීතවල අපේ හිත් ඇදගන්න අපුර්ව කතාවක්  ලියවෙලා තිබුණා .ඒ සුන්දරත්වය  විඛණ්ඩනය කරලා බැලුවහම හමුවන්නේ සුන්දර ළමා කාලයක් තිබ්බ බන්දුල නානායක්කාරවසම්.බන්දුල අය්යියගේ නිර්මාණශීලීත්වයේ  උල්පත සුන්දර ළමා කාලය.





ගීත රචකයෙක් ලෙස බන්දුල නානායක්කාරවසම් ලිව්ව ගීත වැඩිම ප්‍රමාණයකට සංගීතය , තනු නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ. මට රෝහණ අයියාව මතක් උනේ රෑ වැඩමුරය ගීතය නිසා .බන්දුල මේ ගීතය හතර වතාවක්  ආකර හතරකින් ලියල රෝහණ වීරසිංහට බාර දෙන්නේ සතර පද කවි ආරෙන්  මිදෙන්න ...එත් රෝහණයන් තනු යෙදුවේ මුලින් ලියා තිබු කවි ආරට .

රෑ වැඩමුරය

බන්දුල අයියා මේ කතාව අහගෙන ඉන්නකොට මං දන්නවා ඔබ මනසින් යන්නේ ගාලු කොටුපවුරට . එදා සුනිල් ආර් ගමගේ අරගෙන්න ඇවිත් තිබුණ ඩමිය අහපු දවසට.කුලරත්න අරියවංශ ගෙන් එය එදා රැගෙන විත් තිබුණේ කුළුදුලේ නිර්මාණයක් බිහිවෙන්න කලින් එහි අපුර්වබව විදින්න......
 එත් මං දැන් ඔබව රැගෙන යනවා මෑතක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශලාවේ පැවති  සඳ කඩ පහන ප්‍රසංගයට.සුනිලුන් මේ ගීය ගයන්න සුදානම් වන මොහොත.ඒ  වෙලාවේ මේ ඉතිහාසයම කෙටි චිත්‍රපටියක් වගේ  ඔබේ මනසේ ඔබම දර්ශනය කරගන්න ඇති. බන්දුල අයියට මතකද ඔබ සිටි අසුන.?එහෙනම් දැන් මනසින් නරබන්න
ඒ අත් පොලසම හෙට ඔබේම නිර්මාණවල ප්‍රහර්ෂය ..
මේ එදා ප්‍රසංගයේ  ඔබ සමගම විඳවමින් වින්ද මොහොත....
 බන්ධුල නානායක්‌කාරවසම් නම් වූ අප සුමිතුරු අසහාය ගේය පද රචකයා පුරා දශක 4 ක කාල පරාසයක්‌ තුළ ගීත රචකයකු ලෙස නිර්මාණය කළ ගීත පරිමාව 1500 කට අධික යි. එය සත්‍යයක්.

 ඉතාම ජනප්‍රිය හොඳ ගීත හත්අට සියයක්‌වත් මේ අතර තිබෙන බව බොහෝ දෙනෙක් දන්නවා .


එහෙත් ඔහුගේ එකම ගීයක්‌ වත් සැලකිල්ලට නොගෙන අන් අයගේ ගීතවල තිබෙන විශිෂ්ටතා හා සෞන්දර්යාත්මක වටිනාකම් අගය කරමින් ඉතා නිර්ලෝභීව සමාජයේ විචාරකයකු ලෙසත්රසිකයකු ලෙසත් පෙනී සිටින්නට බන්ධුල සමත්. ඒ අපි කෙනකු තුළ කලාතුරකින් පමණක්‌ දකින විශේෂ ලක්‍ෂණයක්‌.

රෑ ඉර පා න 
       
බන්ධුල සිය 40 වසරක කලා දිවිය තුළ අපට සමීප වන්නේ කුසලතා පූර්ණ හා අත්දැකීම් බහුල ගීත රචකයකු ලෙස පමණක්‌ නොවේ . සංවේදී සන්දර්ශන පසුබිම් කථකයකු ලෙසත් බන්ධුල ලබා ඇති පරිචය සුළුපටු නැත. ඔහුට අනන්‍ය කටහඬක්‌ තිබේනවා . "රෑ ඉරපාන" තුළ ඒ කටහඬ කැපී පෙනෙන පෞරුෂයක්‌ ප්‍රකට කළේය.



දිනය හරියටම නිනව්වක් නෑ   .අපි අනුරාදපුර යන්නේ  “ආදරණීය රෝහණ”අනුරාධ පුර ප්‍රසගයට .වේලාසන වැඩියි .අපි තිසා වැව ට ගියා. වැව හොදටම හිදිලා .වැවු ස්මතෙන් කාර් එක වැව මැද්දටම  ගන්න පුළුවන් උනා . දොර හතරම ඇරලා  අපි සින්දුවක් අහන්න ගත්ත .මට ඕන උනේ මේ ගීය ගමන් සගයන් දෙදෙනාට අහන්න දෙන්න .රන්ජන් සමග උදය .අපි මේ ගීය හත් අට සැරයක් ඇහුව .ඒ සිද්දිය එතනින් ඉවරයි.

    ඒ  ලගම දවසක  විජේරත්න  රණතුංග කළාකරුවාගේ මළගෙදර දවසේ  බන්දුල අයිය හමුඋනා . තිසා වැව මැද්දේ සින්දුව අහපු කතාව ඔහුට කිව්වා .බන්දුල අයිය තුෂ්නිම්භූත වෙලා.  එහෙම සින්දුවක් කරලද? ලස්සනද?ආනන්ද ගමගේ ඉල්ලාගත තමා .එත් මං තාම උබල කියනකම් දන් නෑ.ෂාහ් අහන්න තිබ්බනම් ....
අපි බන්දුල අය්ය ත්  අරගෙන  හෙමිහිට පාරට අවා .නෙලූ අදිකාරී ,කපිල දෙන්නත් අපිසමග අවා .  බන්දුල අයිය ලිව්ව ගීතයක් මුල් වරට ඔහු විදින අත් දැකීම විදගන්න ...මහා ගැඹුරක් තිබ්බ දීග රාත්‍රියක් උනේ නොදැනීම......

මට මා හමු උනා  සුනිල් එදිරිසිංහ  


                



       . වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විවිධ සෞන්දර්යාත්මක සංදර්ශනවල ප්‍රසංග නාමාවලිය පෙළ ගස්‌වන  සංවේදී ප්‍රසංග පිටපත සකස්‌ වන්නේද බොහෝ විට බන්දුල නානායක්කාරවසම් අතින් බන්ධුලගේ කෞෂල්‍යය එපමණකින් ලඝූ නොවන බව මේ කලා ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නවා .


..මේ බන්දුල අත්දැකීම ගීතයක් කල අයුරු .අත්දැකීමයි ගීතයි දෙකම මෙතන තියනවා .
ඔහු ඉන් අපේ රටේ සාහිත්‍ය ජාත්‍යන්තරය හා මුසු කළේය. ජාත්‍යන්තර කෘති අපේ සාහිත්‍යය හා මුසු කළේය. ඉන් රසිකයා ලද ආශ්වාදය හා දැනුම අප්‍රමාණ බව කිව යුතුය. බන්ධුලට ගීතයක්‌ ගැන කියන්නට හරි ලස්‌සන කතා තිබේ. සමහර දේ ඔහු උකහා ගත්තේ විදෙස්‌ පත පොත කියෑවීමෙන් ලත් දැනුම් සම්භාරයෙනි. සමහර දේ ඔහු ගන්නේ අන්තර්ජාලයෙනි. ගීත ගැන පමණක්‌ නොවේ. ඔහුට විෂය වන කවර හෝ සාහිත්‍යාංගයක්‌ ගැන වුවත් අලගිය තැන් මුලගිය තැන් සෙවීම ඔහුගේ සිරිතය.


හමුවෙන හැම කෙනෙකුගෙන්ම මම මොනවා හරි ඉගෙන ගන්නවා කියන්නේ අත් දැකීම් එකතු කිරීම. බොහොම කලාතුරකින් හමුවන තීර්ථ යාත්‍රිකයෙක් හෙට  නෙලුම් පොකුණේ දී  අත් දැකීම් ගීත නිර්මාණ තුලින් බෙදා ගන්නවා . අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා" රෑ ඉරපාන හෙට  නෙලුම් පොකුනේදී අපව හමුවෙන බව ස්ථිරයි .

 90 දශකයේ මුල මම වචන හොයන කාලේ.මනෝහාරී ප්‍රසංගය tv එකේ යනකොට  සමන් අතාවුද කියන වචන ලියා ගන්නවා .ඒ වචන සංවේදී ප්‍රසංග පිටපතට එක් කරල තියෙන්නේ  බන්දුල අයිය . සමුගැනීම නම් පංච අක්ෂරයෙන් පමණක් සමුගන්න අවසර ...එක පොතක් මං මේ වචන ලියල තිබ්බ  .ආසාවට .  පස්සේ දවසක් ඉස්කෝලෙදි   කියන්න .      ඔව්  සමුගැනීම නම් පංච අක්ෂරයෙන් පමණක්ම  සමුගන්න අවසර....හෙට හමුවෙමු.