Search This Blog

Wednesday, March 15, 2017

පාළු සුසානයක ෆැන්ටසිය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 02

පාළු සුසානයක ශීතල මළ සිරුරක්  සමඟ රමණය  හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 

     ලාංකිකයාගේ විවාහ ජීවිතය  ඉතාමත් සිත් ගන්න සුළුය .සාමකාමිය .දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතී.ඉඳහිට  පවත්වන  ළමයින්ගේ උපන්දින උත්සව , සැමියාගේ බිරිඳගේ විවාහ සැමරුම් උත්සව වලින්  එය තවත් අලංකාර වෙයි.හදිස්සියේ ලැබුණු උසස් වීම් නිසා පවුලේ  අනාගතයේ නව බලාපොරොත්තු දැල්වෙයි .
උදේට  තම දරුවනුත් සමග  කාර්යාලයට යාම පිණිස  ලස්සනට ඇඳ පැළඳ  නිවසින් පිටත් වන මෙම යුවලවල් දැකීම ,දකින්නාගේ දවස ද සුබදායක කරවයි.සති අන්තයට  තමා දරුවනුත් සමග  අලුතින් මිලදී ගත කාරයෙන්  තම දෙමවුපියන්ගේ  නිවෙස් වලට මොවුන් එන හැටි බලා  දෙමවුපියන් සතුටු කදුළු වගුරවයි ."අපි අපේ යුතුකම් හරියට ඉෂ්ට කළා." ඔවුන් ආඩම්බරයෙන්  අවට අයට කියයි



Add caption
.කලින් වැඩ ඇරී ආ දවස් වලට මොවුන් කරන්නේ  සාප්පු සවාරියේ යන එකය .එදින ඇඟ  සෝදා ගෙන  ළමයිනුත් සමග මොවුන්  කාගීල්ස් ,කීල්ස් ,හෝ සුපර් මාකට් එකට යයි .ස්වාමියා කොට කලිසමකින්  හා අත් කොට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී සිටී .ස්ලිපර්ස් දමාගෙන පැමිණ ඇත්තේ පහසුවටය තම වාහනයේ  යතුර තමාගේ මංගල මුදුව ඇති  ඇගිල්ල ලඟම ඇඟිල්ලට  දමා කරකවමින් සිටින්නේ තම බිරිඳ සේම තම වහනයද , තමාට එකසේ  වටින බව කියාපාන්නට මෙනි.
බිරිඳ ඩෙනිම් ජීන්ස් එකකින් හා සැහැල්ලු  ටී ෂර්ට් එකකින් සැරසී ඇත . ඇයගේ අතේ  සැමියාගේ සෙල්ෆෝනය නිතර රැදී ඇති අතර සැමියාට ඇමතුමක් පැමිණි විගස ඇය පළමුව කතාකර එය සැමියාට දෙයි .එය ඔවුන්ගේ අන්නෝන්‍ය විස්වාසය පිළිබද  අපේ ඇති විශ්වාසය තවත් වැඩි කරවයි .ළමයින් දෙදෙනා සුපර් මාකට් එක තුල නිදහසේ  කෑගසමින් දුව යයි .බිරිඳ ට්‍රොලියක් තල්ලු කර
මින් දරුවන්ට  හා නිවසට අවශ්‍ය බඩු එකතු කරයි .
සැමියා අත් දෙක බැදගෙන ආඩම්බරයෙන්  වට පිට බලමින්  ඇය පිටුපස යන අතර ඉඳ හිට රේසර් එකක් ,ෂේ්වින් ක්‍රීම් ක්‍රීම් එකක් ගෙන  ට්‍රොලිය තුලට දමයි .එමෙන්ම  ළමයින් තොර ගෙන එන චොකලට් ටිපි ටිප් වැනි දේ ගෙන ඒවාද ට්‍රොලියට දමයි .
Add caption
අවසානයේ දී  ඔහු බිල ගෙවන අතර  සියල්ලන් එලියට විත් සුපර් මාකට් එකේ සේවකයෙක් තමන් ගත බඩු සියල්ල උස්සගෙන විත් කාරයේ ඩිකියට  දමනු සතුටින් බලා සිටියි .මේ දෙස බලාගෙන සිටින පාරේ බස් වල දහදිය දමමින් තෙරපෙමින් යන අයගේ සිත් තුල විවාහ ජීවිතය ගැන  උණුසුම් බලාපොරොත්තු ඇතිවෙයි .

             කාර්යාල වෙලාවේ ඉඳහිට එන ස්වාමියාගේ හෝ බිරිඳගේ  දුරකථන ඇමතුම විවාහ ජීවිතයේ  අවබෝධය සුරක්ෂිතභාවය  තවත් වැඩිකරවයි.

එසේත් නැත්නම් බිරිඳ විසින් ඔතා  එවූ දිවා ආහාරයේ සශ්‍රීකත්වය ,සැන්දෑවට ලැබෙන  දොඩම් වීදුරුව ,හෝ කිරි කෝප්පය ,ඉඳහිට හදන  කේක් එක ,පුඩින් එක  විහාහ ජීවිතයේ රස පිළිබඳ බලන් ඉන්නන්ගේ ආශාව වැඩි කරවයි .හදිස්සියේ  බිරිඳ/ස්වාමියට  ලෙඩක් හැදුනු විට ස්වාමියා/බිරිඳ/ඇයට/ඔහුට  සලකන ප්‍රමාණය  දකින අයට තමාත්  රෝගියෙකු වීමේ ආශාවක් පහල වීම  පුදුමයට කරුණක් නොවේ .
කෙසේ හෝ අඳුනන දොස්තර වරයෙකුට කියා දැනට ඇඳක ඉන්න ලෙඩෙක් බිමට දමා තම ස්වාමියා හෝ බිරිඳට  ඇඳක් අරන් දී දොස්තර වරයා තහනම් කරන කෑම පවා හොරෙන් ගෙනත් දී තම දොස්තරවරයා  ද ,නර්ස් ද ,ඇටේන්ඩන්ඩ් ද, ලේබර් ද , අවසානයේ මුළු රෝහල ද ,බවට පත් වෙන ආදරණීය සැමියන් /බිරිඳන්  අපට දැකිය හැකිය .
                                                                                              සැන්දෑ කාලයේදී  ස්වාමියා  හා දරුවන් නිවසට අලුතින් ගත් වහනය  සෝදයි .
මල් වලට වතුර දමමින් සිටින බිරිඳ
ඒ දෙස ආශාවෙන් බලාගෙන  සිටින අතර එය දකින සමහරුන් යන්න යන ගමන අතරමග අතහැර කපුවන්  සොයයි .යම් දිනක රාත්‍රියේ කවුරුන් හෝ යම් නිවසකට ගිය විට ඔහුට ඒ ගෙදර  සැමියා බිරිඳ දරුවන් කෑම කමින් ප්‍රීතියෙන් සිනාසෙමින් ටෙලි නාට්‍ය  බලන ආකාරය දැක ගත හැක .
මේ ලංකාවේ  විවාහකයින්ගේ  ජීවිතය අපට දර්ශනය වන එක් ආකාරයකි .ලාංකිකයන්ගේ විවාහයේ තවත් පැතිකඩක් ඇත .                                  (මතු සම්භන්ධයි )


(මේ ලිපියෙහි  මාතෘකාව තරමක් පැරණිය.එය කෙතරම්ද යත් මුල්වරට මෙය පළවුයේ  LONDON 2003 ජුනි  කලාපයේය .එවකට X කණ්ඩායම වෙනුවෙන්  ලියා තිබුනේ බුද්දික බණ්ඩාරය. එය අදට වඩාත් උචිත බැවින්  මතු දිනක ජාල ගත කරන්නට සිතුවෙමි  )

Sunday, March 12, 2017

පාළු සුසානයක ෆැන්ටසිය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 01

පාළු සුසානයක ෆැන්ටසිය  හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 

  මේ ලිපියෙහි  මාතෘකාව තරමක් පැරණිය. එය අදට වඩාත් උචිත බැවින්  මතු දිනක ජාල ගත කරන්නට සිතුවෙමි.ඒ සදහා  න්‍යායක් (theory ) ගොඩ නැගිය යුතුයි යැයි මම සිතමි . මන්ද යත්  අද්‍යතන සමාජය සීග්‍රගාමී  පරිවර්තන යුගයක් පසුකරමින් සිටියි.  මෙය පශ්චාත් නුතනය  තුළ  ඔබ  හදුනා නොගත් මානව ලක්ෂණයන්   විඛණ්ඩනය කිරීමකි. 

  
         සාම්ප්‍රදායික සමාජය තුල සිදුවූ යාන්ත්‍රික ඒකාබද්දතාවය හෙවත් සාමූහිකත්වය නවීන සමාජය ඓන්ද්‍රීය ඒකාබද්දතාවය මගින් අතික්‍රමණය කර තිබේ. එය ආකල්පනය කරන්නේ සමාජය තුල පුද්ගලභාවය (individualism) සහ පුද්ගලවාදී ප්‍රවනතාවයන් වර්ධනයකි.එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුල විභේදනය සහ විසංවිධනය වර්ධනය වී සමාජ එකාබධාතාවයට තර්ජන එල්ල කරයි .

මෙය සෘජුව මෙන්ම වක්‍ර ලෙසද  පවුල් සංස්ථාවට බලපෑම් එල්ල කරයි.  "මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාම  සඳහා  යම්කිසි මතවාදයක හෝ අදහසක අවශ්‍යතාව පෙන්වා දුන් නීට්ෂේ ඉන් තොරව මිනිසාට පරිසරයට අනුවර්තනය විය නොහැකි බව පැහැදිලි කළේය .පුද්ගලයාගේ මානසික ලෝකයට  බොරුව ,ප්‍රෝඩාව ඇතුල් වන බවත් එහි විශේෂ භූමිකාවක් මිත්‍යාවට හිමිවන බව"ද  වැඩිදුරටත් නීට්ෂේ පෙන්වා දුන්නේය.   මිනිසාගේ මෙම භූමිකාව  සමාජ ගත  කිරීම සදහා අද්‍යතන ජනමාධ්‍ය  නිර්මාණාත්මක කාර්ය භාරයක් ඉටුකරයි .මිනිසුන් ලබන අභිප්‍රේරණයන් (motivation) මත එකිනෙකා සමාජය  මගින් නිර්මාණය කරගත් ආකෘතින් පවතී. මෙම අභිප්‍රේරණනයන් වේගයෙන් වර්ධනය වන ප්‍රචාරණය මත රඳා පවතී .




             පැරේතෝ   ප්‍රකාශ කරන්නේ එක් එක් පුද්ගලයා සමාජ ක්‍රියාවලින්ට ප්‍රවේශ වන්නේ තාර්කික හෝ විද්‍යාත්මක දැනුමකින් තොරව බවත්  සම්ප්‍රදායන් ,හැගීම් ,සහජ ඥානය,පුරුදු  ආදී මත පුද්ගලයන් සමාජ ක්‍රියාවන්ට සහභාගී වන බවය . ඒ අනුව තම ජීවිත රටාව හසුරවා ගැනීමට සන්නිවේදනික මිනිසා උත්සහ දරයි. වර්තමාන මිනිසා ප්‍රචාරණය තුල සිරවී ඉන් පරාරෝපනය  වී සිටී .මිනිසා තම හැගීම් .අදහස් ,ආකල්ප ,ලිංගික ජීවිතය ,චින්තන හැකියාව  මෙන්ම යමක් විශ්ලේෂණය කර අවබෝද කරගැනීමේ  හැකියාවද නුතන සන්නිවේදන ප්‍රවාහය තුල අහිමි කරගෙන තිබේ.

           අතීතයේ සිට තමා වටා තිබු ප්‍රකෘති  ආධ්‍යත්මික සංස්කෘතික පරිසරය නැතිකර ගත් මිනිසා ජන සන්නිවේදන මාධ්‍ය හරහා ගොඩනගා ගත් කෘතීම , යාන්ත්‍රික පරිසරයක සිරවී තම  විඥානයට බලපෑම් එල්ල කරගනිමින් සිටියි.තම ක්‍රියාවන් දැඩි පාලනයකට ලක්වී තිබෙන බව තමාටම  වැටහීමක් තිබුනත් ඉන් මිදීමට මිනිසාට නොහැකිය .
    අද බාල පරම්පරාවට අදාල දැනුම ,සාරධර්ම  ලබාදෙන්නේ  වැඩිහිටි පරම්පරාව විසින් නොවේ , දැනුම සහ සංස්කෘතිය ,සාරධර්ම නිෂ්පාදන ආයතන විසිනි . ඒවා නිෂ්පාදනය කරන්නේ මහාද්වීපයන්ට එහා සැතපුම් දහස් ගණනක් දුරිනි .
එය ගෝලීය බලපෑමකි .ඒ අනුව පන්සල පාසැල වැඩිහිටි අහෝසි වී යයි. වර්තමාන සංස්කෘතිය ප්‍රාග්ධන ආයෝජනයේ  මුලික ක්ෂේත්‍රයකි .ඒ අනුව සමාජ සංස්ථා සංකීර්ණ ,සුක්ෂම අන්තර්ගතයක් නිරුපනය කරයි .එය අවබෝද කරගත නොහැකි තරමට ගුප්ත හැගීම් සහ ක්‍රම විධි මගින් සංකීර්ණ වී තිබේ.මුලික ලෙසම මෙහි බලපෑම විවාහ ජීවිතය සමග බද්ද වෙයි.විවාහය මෙන්ම අඹුසැමි  ජීවිතයද  ගෝලීය දේහයක් බවට පත්ව තිබේ.
වර්තමාන  ගෝලීය ජනමාධ්‍ය වේද  ක්‍රියාශීලී සුක්ෂම  ලෙස නවීනමිනිසා සංසිදුවයි.වඩාත්සෞන්දර්යකරණය  සාමාන්‍ය වී තිබේ .වර්තමාන බහුජන සංස්කෘතිය තරුණ ආධ්‍යාත්මික ඇගයීමේ ස්වරූපයයි .මේ නිසා කලාව තුල අපුර්වත්වය ,අලංකාරය ,සුන්දරත්වය ,වින්දනය සොයනවා වෙනුවට විනෝදය පමණක් සොයයි.
උවමනාවට වඩා සුන්දරවීම තුල මිනිසාගේ ජීවිතය එන්න එන්නම අදුරු වී තිබේ .

වර්තමාන සමාජයේ සංස්කෘතික වටිනාකම තීරණය වන්නේ එහි ප්‍රදර්ශනාත්මක භාවය මත වන්න අතර  එමගින් ඕනෑම නිර්මාණයක් , සෞන්දර්යක් නිස්සාර බවට පත් කල හැකිය .නොගැඹුරු සාටෝප මිනිසුන් ඉන් බිහිවී  බෙලහීන චින්තනයක් බිහිව තිබේ.  
 (මතු සම්භන්ධයි  )

Wednesday, March 8, 2017

අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා


අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා



ජීවිතේ විවිද නිම්ම්න හරහා  ගමනේ යෙදෙන තීර්ථ යාත්‍රිකයන් හමුවන්නේ බොහොම කලාතුරකින් .එහෙම මිනිසුන්ගේ ගමන් මල්ල පිරිලා තියෙන්නේ අත්දැකීම් වලින්.  බන්දුල නානායක්කාරවසම්  කියන්නේ එහෙම අනවරත  ගමනක යෙදෙන තීර්තකයෙක් . අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා" හෙට  නෙලුම් පොකුනේදී අපව හමුවෙන බව ස්ථිරයි . හෙට  සුන්දරම රාත්‍රියයක් නම්  මේ ඊට පෙරයම  සිහින දකිනා රාත්‍රිය .අහගෙන ඉන්න බන්දුල අය්යියට වගේම  ඔබ සියළු දෙනාටමත්  මේ සිහින පොදුයි.
  මේ ගීතය අපේ ළමා ලෝකය සුන්දරත්වයෙන් නාවපු ගීයක්. ඒ කාලේ මේ ගී අහන කොට බන්දුල  නානායක්කාරවසම්  කවුද කියල දැනන් හිටියේ නෑ.එත්  අඹ යහළුවෝ නාට්‍ය tv එකේ යනකොට කැසට් රෙකෝඩරය ලගින් තියල මේ ගීත පටිගත කරගත්ත  මතකයි .

 ඔහු ලියු මේ ගීතවල අපේ හිත් ඇදගන්න අපුර්ව කතාවක්  ලියවෙලා තිබුණා .ඒ සුන්දරත්වය  විඛණ්ඩනය කරලා බැලුවහම හමුවන්නේ සුන්දර ළමා කාලයක් තිබ්බ බන්දුල නානායක්කාරවසම්.බන්දුල අය්යියගේ නිර්මාණශීලීත්වයේ  උල්පත සුන්දර ළමා කාලය.





ගීත රචකයෙක් ලෙස බන්දුල නානායක්කාරවසම් ලිව්ව ගීත වැඩිම ප්‍රමාණයකට සංගීතය , තනු නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ. මට රෝහණ අයියාව මතක් උනේ රෑ වැඩමුරය ගීතය නිසා .බන්දුල මේ ගීතය හතර වතාවක්  ආකර හතරකින් ලියල රෝහණ වීරසිංහට බාර දෙන්නේ සතර පද කවි ආරෙන්  මිදෙන්න ...එත් රෝහණයන් තනු යෙදුවේ මුලින් ලියා තිබු කවි ආරට .

රෑ වැඩමුරය

බන්දුල අයියා මේ කතාව අහගෙන ඉන්නකොට මං දන්නවා ඔබ මනසින් යන්නේ ගාලු කොටුපවුරට . එදා සුනිල් ආර් ගමගේ අරගෙන්න ඇවිත් තිබුණ ඩමිය අහපු දවසට.කුලරත්න අරියවංශ ගෙන් එය එදා රැගෙන විත් තිබුණේ කුළුදුලේ නිර්මාණයක් බිහිවෙන්න කලින් එහි අපුර්වබව විදින්න......
 එත් මං දැන් ඔබව රැගෙන යනවා මෑතක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශලාවේ පැවති  සඳ කඩ පහන ප්‍රසංගයට.සුනිලුන් මේ ගීය ගයන්න සුදානම් වන මොහොත.ඒ  වෙලාවේ මේ ඉතිහාසයම කෙටි චිත්‍රපටියක් වගේ  ඔබේ මනසේ ඔබම දර්ශනය කරගන්න ඇති. බන්දුල අයියට මතකද ඔබ සිටි අසුන.?එහෙනම් දැන් මනසින් නරබන්න
ඒ අත් පොලසම හෙට ඔබේම නිර්මාණවල ප්‍රහර්ෂය ..
මේ එදා ප්‍රසංගයේ  ඔබ සමගම විඳවමින් වින්ද මොහොත....
 බන්ධුල නානායක්‌කාරවසම් නම් වූ අප සුමිතුරු අසහාය ගේය පද රචකයා පුරා දශක 4 ක කාල පරාසයක්‌ තුළ ගීත රචකයකු ලෙස නිර්මාණය කළ ගීත පරිමාව 1500 කට අධික යි. එය සත්‍යයක්.

 ඉතාම ජනප්‍රිය හොඳ ගීත හත්අට සියයක්‌වත් මේ අතර තිබෙන බව බොහෝ දෙනෙක් දන්නවා .


එහෙත් ඔහුගේ එකම ගීයක්‌ වත් සැලකිල්ලට නොගෙන අන් අයගේ ගීතවල තිබෙන විශිෂ්ටතා හා සෞන්දර්යාත්මක වටිනාකම් අගය කරමින් ඉතා නිර්ලෝභීව සමාජයේ විචාරකයකු ලෙසත්රසිකයකු ලෙසත් පෙනී සිටින්නට බන්ධුල සමත්. ඒ අපි කෙනකු තුළ කලාතුරකින් පමණක්‌ දකින විශේෂ ලක්‍ෂණයක්‌.

රෑ ඉර පා න 
       
බන්ධුල සිය 40 වසරක කලා දිවිය තුළ අපට සමීප වන්නේ කුසලතා පූර්ණ හා අත්දැකීම් බහුල ගීත රචකයකු ලෙස පමණක්‌ නොවේ . සංවේදී සන්දර්ශන පසුබිම් කථකයකු ලෙසත් බන්ධුල ලබා ඇති පරිචය සුළුපටු නැත. ඔහුට අනන්‍ය කටහඬක්‌ තිබේනවා . "රෑ ඉරපාන" තුළ ඒ කටහඬ කැපී පෙනෙන පෞරුෂයක්‌ ප්‍රකට කළේය.



දිනය හරියටම නිනව්වක් නෑ   .අපි අනුරාදපුර යන්නේ  “ආදරණීය රෝහණ”අනුරාධ පුර ප්‍රසගයට .වේලාසන වැඩියි .අපි තිසා වැව ට ගියා. වැව හොදටම හිදිලා .වැවු ස්මතෙන් කාර් එක වැව මැද්දටම  ගන්න පුළුවන් උනා . දොර හතරම ඇරලා  අපි සින්දුවක් අහන්න ගත්ත .මට ඕන උනේ මේ ගීය ගමන් සගයන් දෙදෙනාට අහන්න දෙන්න .රන්ජන් සමග උදය .අපි මේ ගීය හත් අට සැරයක් ඇහුව .ඒ සිද්දිය එතනින් ඉවරයි.

    ඒ  ලගම දවසක  විජේරත්න  රණතුංග කළාකරුවාගේ මළගෙදර දවසේ  බන්දුල අයිය හමුඋනා . තිසා වැව මැද්දේ සින්දුව අහපු කතාව ඔහුට කිව්වා .බන්දුල අයිය තුෂ්නිම්භූත වෙලා.  එහෙම සින්දුවක් කරලද? ලස්සනද?ආනන්ද ගමගේ ඉල්ලාගත තමා .එත් මං තාම උබල කියනකම් දන් නෑ.ෂාහ් අහන්න තිබ්බනම් ....
අපි බන්දුල අය්ය ත්  අරගෙන  හෙමිහිට පාරට අවා .නෙලූ අදිකාරී ,කපිල දෙන්නත් අපිසමග අවා .  බන්දුල අයිය ලිව්ව ගීතයක් මුල් වරට ඔහු විදින අත් දැකීම විදගන්න ...මහා ගැඹුරක් තිබ්බ දීග රාත්‍රියක් උනේ නොදැනීම......

මට මා හමු උනා  සුනිල් එදිරිසිංහ  


                



       . වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විවිධ සෞන්දර්යාත්මක සංදර්ශනවල ප්‍රසංග නාමාවලිය පෙළ ගස්‌වන  සංවේදී ප්‍රසංග පිටපත සකස්‌ වන්නේද බොහෝ විට බන්දුල නානායක්කාරවසම් අතින් බන්ධුලගේ කෞෂල්‍යය එපමණකින් ලඝූ නොවන බව මේ කලා ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නවා .


..මේ බන්දුල අත්දැකීම ගීතයක් කල අයුරු .අත්දැකීමයි ගීතයි දෙකම මෙතන තියනවා .
ඔහු ඉන් අපේ රටේ සාහිත්‍ය ජාත්‍යන්තරය හා මුසු කළේය. ජාත්‍යන්තර කෘති අපේ සාහිත්‍යය හා මුසු කළේය. ඉන් රසිකයා ලද ආශ්වාදය හා දැනුම අප්‍රමාණ බව කිව යුතුය. බන්ධුලට ගීතයක්‌ ගැන කියන්නට හරි ලස්‌සන කතා තිබේ. සමහර දේ ඔහු උකහා ගත්තේ විදෙස්‌ පත පොත කියෑවීමෙන් ලත් දැනුම් සම්භාරයෙනි. සමහර දේ ඔහු ගන්නේ අන්තර්ජාලයෙනි. ගීත ගැන පමණක්‌ නොවේ. ඔහුට විෂය වන කවර හෝ සාහිත්‍යාංගයක්‌ ගැන වුවත් අලගිය තැන් මුලගිය තැන් සෙවීම ඔහුගේ සිරිතය.


හමුවෙන හැම කෙනෙකුගෙන්ම මම මොනවා හරි ඉගෙන ගන්නවා කියන්නේ අත් දැකීම් එකතු කිරීම. බොහොම කලාතුරකින් හමුවන තීර්ථ යාත්‍රිකයෙක් හෙට  නෙලුම් පොකුණේ දී  අත් දැකීම් ගීත නිර්මාණ තුලින් බෙදා ගන්නවා . අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා" රෑ ඉරපාන හෙට  නෙලුම් පොකුනේදී අපව හමුවෙන බව ස්ථිරයි .

 90 දශකයේ මුල මම වචන හොයන කාලේ.මනෝහාරී ප්‍රසංගය tv එකේ යනකොට  සමන් අතාවුද කියන වචන ලියා ගන්නවා .ඒ වචන සංවේදී ප්‍රසංග පිටපතට එක් කරල තියෙන්නේ  බන්දුල අයිය . සමුගැනීම නම් පංච අක්ෂරයෙන් පමණක් සමුගන්න අවසර ...එක පොතක් මං මේ වචන ලියල තිබ්බ  .ආසාවට .  පස්සේ දවසක් ඉස්කෝලෙදි   කියන්න .      ඔව්  සමුගැනීම නම් පංච අක්ෂරයෙන් පමණක්ම  සමුගන්න අවසර....හෙට හමුවෙමු.





                                                    

Saturday, March 4, 2017

හිරු බැස ගිය පසු..

බොහෝ මිනිසුන් වලාකුළු වගේ. ලෝකය මහා වැස්සෙන් සතුටු කරවා , නදී  තටාක පුරවා මිහිකත  පිරුණු  සස්‍ය තැනක් බවට පත්කර වලාකුළු අහස අතහැරලා මියයනවා . රාමායනයේ පාඨයක  එහෙම අරුත් දනවන සටහනක් තිබුණා .

ගීතනාත් කුඩලිගම  සසර සැරිසරන තෙක් ..සංස්කරණයේ  ප්‍රේමකීර්ති ගේ නික්මයාම ගැන  සාහිත සටහනක් එක් කරලා තිබුණා .

සුප්‍රසිද්ධ මහා භාරතයේ එන ගංගා පුත්‍ර භීෂ්ම,  ශ්වෙත වර්ණ කෙශයෙන් සුදු රැවුලකින් ,මහත් ප්‍රසන්න වූ පෞර්ෂ යෙන් හෙබි  මහලු පුරුෂයෙක්. භීෂ්ම මේ ගත කරන්නේ ජීවිතයේ අවසාන භාගය බව  ඔහු දන්නවා .එත් තරුණ පිරිස එය දන්නේ නැහැ .ඔහු වෙත එන පිරිස මෙසේ පවසනව.

" ගංගා පුත්‍ර භීෂ්ම තුමනි ,ඔබ තුමන් අපට මෙතරම් සුන්දර ලෙස දැනෙන්නේ ඇයි? "

ගංගා පුත්‍ර පිළිතුරු දෙනවා

"සෙවනැල්ල දිගුවනවිට  දැන ගන්න.. හිරු බැසයාමට ආසන්න බව "  ම 

සත්තකින්ම   හිරු  වැනි මිනිස්සු අප අතර හිඳ  බැහැර යති. ඒ බැහැර ගියේ හිරු බව අපට වඩාත් හොදින් දැනෙන්නේ එබඳු අය සදහටම අප අතහැර ගිය පසුවය. 


Wednesday, March 1, 2017

හංස ගීතයට පෙර සහෘදයන් වෙත

හංස ගීතයට පෙර  සහෘදයන් වෙත 

ගේබ්රියල් ගාර්ශියා මාර්ක්වේස්  Gabriel García Márquez  නොබෙල් සම්මාන ලාභී සම්භාවනීය කොලොම්බියානු සාහිත්‍යධරයෙක්.ඔහු මිය යන්නේ   2014 අප්රේල් 17,  (වයස අවුරුදු 87) දීමෙක්සිකෝ සිටි නගරයේ, මෙක්සිකෝවේදී . ඔහු මරණාසන්නව පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටින විට ,ජීවිතයෙන් සමුගැනීමට  සුදානම්ව අවසන් හෝරාවේ දැක්වූ අදහස් නිර්මාණ කරුවෙකුගේ මානව ගුණයෙහි අපුර්ව  පිලිබිඹුවකි.

එම් ඩී මහින්දපාල  සිනමාකරුවා මෙම ලිපිය සිය සිනමාව මාධ්‍ය හා කලාව  කෘතියේහි  අවසන් පරිචේදයෙහි අපුර්ව ලෙස සටහන් තබා තිබේ.මේ එහි උපුටනයකි.
      

            මා දැනට පත්වී සිටින්නා වූ මෙම දුඛ්‍යය දායක තත්වය සර්ව බලදාරී දෙවියන් වහන්සේ විසින් මොහොතකට වෙනස්  කොට ජීවත්වීම මා හට තවත් සුළු කාලයක් ලබා දෙන්නේනම් එකී සුළු කාලය  මට හැකි පමණ උසස් ආකාරයෙන් ගත කිරීමට මම සපුරා පොරොන්දු වෙමි.

සෑම දෙයක් පිළිබදවම මම දැනට වඩා කල්පනාකාරී  වෙමි .එසේම සෑමදෙයකම ඇති භෞතික වටිනාකම් වලට වඩා ඒවායේ නෙෙසර්ගික ගුණාංග  හා ඒවා තුලින් ප්‍රකාශ කරන්නාවූ සත්‍යයන් වටහා ගැනීමට මම වැඩියෙන් උනන්දුවක් දක්වමි.

      
           නින්දට ගතවන  කාලය අවම කොට සිහින දකින කාලය වැඩි කර ගනිමි .අප දෑස් පියා ගන්නා  සෑම තප්පරයක්ම අපතේ යන කාලයක් යැයි දැන් මට සිතේ.එක් ඇසිපිය හෙලීමක් ම තප්පර කිහිපයකින් ආලෝකය මග හැරීමකි.


    අන් අය නැවතී සිටින විට මම ඇවිදින්න යමි .අන් අය නින්දට  යනවිට මම  අවදියෙන් සිටිමි . දෙවියන්වහන්සේ,මට ජීවත් වීමට  තවත් සුළු කාලයක් ලබා දෙන්නේනම්  මම ඉතාම චාම් ලෙස අඳින්නෙමි ,පලඳින්නෙමි. මම මගේ ශරීරය පමණක් නොව ආත්මය ද සුර්යාගේ දැඩි ආලෝකයට නිරවර්ණය වීමට ඉඩ හරිමි.

  අප වයස් ගත වන විට ආදරය යන්න අප තුලින් අතුරුදන් වන බැව් සිතන අයට  එය එසේ නොවේ යැයි මම කියා දෙමි.යමෙක් වයසට යන්නේ ඔවුන් වෙතින් ආදරය ගිලිහී ගිය මොහොතේ සිට පමණක් බැව් මම ඔවුනට කියා දෙමි.

   මම කුඩා දරුවන්ට ඉගිලෙන්නට අත්තටු දෙන්නෙමි .එහෙත් ඔවුනට ඉගිලෙන හැටි කියා දීමට උත්සාහ නොකරමි.
  ඔබ සියළු දෙනා සමග ගතකල ජීවිතය තුලින් මම බොහෝ දේ උගත්තෙමි .අප සියළු දෙනාටම අවශ්‍යව ඇත්තේ සාර්ථකතත්වය නම් ගිරි ශිකරයට  ලංවීමයටයි.

    එහෙත්  ජීවිතයේ  සැබෑ තෘප්තිය ලඟා කරගත හැක්කේ එතනට ලඟා වීමෙන් නොව එතනට යාමට  අප ගමන් ගන්නා  දුෂ්කර ක්‍රමවේදය  හරහා බව  බොහෝ දෙනෙක් නොදනිති.

    අලුත බිහිවූ  ළදරුවෙකු නොදැනුවත්වම සිය කුඩා අතගිලි වලින් සිය පියාගේ  ඇගිල්ලක් තදින් සිරකොට  අල්ලා ගන්නා විට  මුළු ජීවිත කාලයම  එම පියා උගුලක සිරවේ .

   මිනිසෙකු අසරණ  වූ විට ඒ මිනිසා  දෙස බැලීමටත් ඔහු වෙත  අපගේ දෑත්  දිගු  කිරීමටත් අපි බැදී සිටිමු .

නිරතුරුව  ඔබට හැගෙන දේ(  what you feel)  මිසක ඔබට  සිතන දේ ( what you think )ප්‍රකාශ නොකරන්න.

 කෙනෙක් සදහටම අපගෙන් වෙන්ව යාමට සුදානම් යැයි මා දන්නේනම් ඔහුව  හෝ ඇයව මගේ මුළු ශක්තියම යොදා වැළඳ  ගනිමි.මට ඔබේ ආත්මයේ දේව දූතයා  වීමට ඉඩදෙන්නැයි     දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි .මම ඔබව  මේ දකින්නේ  ජීවිතයේ අවසන් වරට  යැයි මා දන්නේනම්  මම ඔබට ආදරෙයි යැයි මහා හඩින්  කීමට  නොපැකිළෙමි.

 සෑම විටම  හෙටක් කියා දෙයක් ඉතිරිව ඇත.වඩා හොඳ දේ  කිරීමට හෙට දින නැවත වතාවක් අපට අවස්ථාව සැලසෙනු ඇත .එවෙනි  විස්වාසයක් අප තුල නැත්තේ නම් අපට  ඉතිරිවන්නේ අද පමණි.මා ඔබට  කෙතරම් ආදරය  කරන්නේදැයි කීම මට සතුටකි .මම කිසිදිනක ඔබ අමතක නොකරමි .ඔබ වඩාත් ආදරය කරන අයවලුන් ඔබ සමීපයේ ම තබා ගන්න.ඔබ ඔවුන්ට කොතරම් ආදරය කරන්නේද ,යන්නත් ඔවුනට පැහැදිලිව ප්‍රකාශ කරන්න.ඔවුන් හොදින් රැක බලා ගන්න 
.
 මට සමාවෙන්න අනේ ඔබට ස්තුති වැනි ඔබ දන්නා මිහිරි  ආදරණීය වදන් සියල්ල ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කරන්න.

  ඔබගේ සැගවුණු සිතිවිලි හා  අභ්‍යන්තරය පිලිබදව කිසිවෙකුත් නොදනී.එතුලින් කිසිවෙක් ඔබව හදුනා නොගනී.එබැවින් ඔබගේ  ආදරය ඔවුනට පැහැදිලිව ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේගේ ශක්තිය හා ප්‍රඥාව ඉල්ලා සිටින්න .

 ඔබගේ ආදරණීය ඥාති මිත්‍රාදීන් ඔබට කෙතරම් වැදගත් දැයි ඔවුනට කියා දෙන්න.

      මේ ලිපිය ඔබ ආදරය කරන සෑම සියළු දෙනෙකුම වෙතම යවන්න ඔබ එය අදම නොකරන්නේ නම් හෙට ප්‍රමාද විය හැක .එහෙත් එයට කම් නැත .

ඔබ සියළු දෙනා වෙත 
ආදරයෙන් 

ගේබ්රියල් ගාර්ශියා මාර්ක්වේස් 



Add caption
Add caption


Add caption
Add caption

Add caption



Add caption









Add caption


Add caption


Add caption


Add caption


Add caption


Add caption


Add caption


Add caption


Add caption

Add caption






ගේබ්රියල් ගාර්ශියා මාර්ක්වේස්  Gabriel García Márquez  මිය යාමෙන් අනතුරුව BBC ය ඔහු පිළිබද  කෙටි වාර්තාවක් සකසා තිබුණේ මෙලෙස.


ගේබ්රියල් ගාර්ශියා මාර්ක්වේස්  Gabriel García Márquez  මිය යාමෙන් අනතුරුව අල් ජසීරා   ඔහු පිළිබද  වාර්තාවක් සකසා තිබුණේ මෙලෙස.



Official Trailer - GABO: THE CREATION OF GABRIEL GARCIA MARQUEZ