Search This Blog

Sunday, March 12, 2017

පාළු සුසානයක ෆැන්ටසිය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 01

පාළු සුසානයක ෆැන්ටසිය  හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය 

  මේ ලිපියෙහි  මාතෘකාව තරමක් පැරණිය. එය අදට වඩාත් උචිත බැවින්  මතු දිනක ජාල ගත කරන්නට සිතුවෙමි.ඒ සදහා  න්‍යායක් (theory ) ගොඩ නැගිය යුතුයි යැයි මම සිතමි . මන්ද යත්  අද්‍යතන සමාජය සීග්‍රගාමී  පරිවර්තන යුගයක් පසුකරමින් සිටියි.  මෙය පශ්චාත් නුතනය  තුළ  ඔබ  හදුනා නොගත් මානව ලක්ෂණයන්   විඛණ්ඩනය කිරීමකි. 

  
         සාම්ප්‍රදායික සමාජය තුල සිදුවූ යාන්ත්‍රික ඒකාබද්දතාවය හෙවත් සාමූහිකත්වය නවීන සමාජය ඓන්ද්‍රීය ඒකාබද්දතාවය මගින් අතික්‍රමණය කර තිබේ. එය ආකල්පනය කරන්නේ සමාජය තුල පුද්ගලභාවය (individualism) සහ පුද්ගලවාදී ප්‍රවනතාවයන් වර්ධනයකි.එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුල විභේදනය සහ විසංවිධනය වර්ධනය වී සමාජ එකාබධාතාවයට තර්ජන එල්ල කරයි .

මෙය සෘජුව මෙන්ම වක්‍ර ලෙසද  පවුල් සංස්ථාවට බලපෑම් එල්ල කරයි.  "මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාම  සඳහා  යම්කිසි මතවාදයක හෝ අදහසක අවශ්‍යතාව පෙන්වා දුන් නීට්ෂේ ඉන් තොරව මිනිසාට පරිසරයට අනුවර්තනය විය නොහැකි බව පැහැදිලි කළේය .පුද්ගලයාගේ මානසික ලෝකයට  බොරුව ,ප්‍රෝඩාව ඇතුල් වන බවත් එහි විශේෂ භූමිකාවක් මිත්‍යාවට හිමිවන බව"ද  වැඩිදුරටත් නීට්ෂේ පෙන්වා දුන්නේය.   මිනිසාගේ මෙම භූමිකාව  සමාජ ගත  කිරීම සදහා අද්‍යතන ජනමාධ්‍ය  නිර්මාණාත්මක කාර්ය භාරයක් ඉටුකරයි .මිනිසුන් ලබන අභිප්‍රේරණයන් (motivation) මත එකිනෙකා සමාජය  මගින් නිර්මාණය කරගත් ආකෘතින් පවතී. මෙම අභිප්‍රේරණනයන් වේගයෙන් වර්ධනය වන ප්‍රචාරණය මත රඳා පවතී .




             පැරේතෝ   ප්‍රකාශ කරන්නේ එක් එක් පුද්ගලයා සමාජ ක්‍රියාවලින්ට ප්‍රවේශ වන්නේ තාර්කික හෝ විද්‍යාත්මක දැනුමකින් තොරව බවත්  සම්ප්‍රදායන් ,හැගීම් ,සහජ ඥානය,පුරුදු  ආදී මත පුද්ගලයන් සමාජ ක්‍රියාවන්ට සහභාගී වන බවය . ඒ අනුව තම ජීවිත රටාව හසුරවා ගැනීමට සන්නිවේදනික මිනිසා උත්සහ දරයි. වර්තමාන මිනිසා ප්‍රචාරණය තුල සිරවී ඉන් පරාරෝපනය  වී සිටී .මිනිසා තම හැගීම් .අදහස් ,ආකල්ප ,ලිංගික ජීවිතය ,චින්තන හැකියාව  මෙන්ම යමක් විශ්ලේෂණය කර අවබෝද කරගැනීමේ  හැකියාවද නුතන සන්නිවේදන ප්‍රවාහය තුල අහිමි කරගෙන තිබේ.

           අතීතයේ සිට තමා වටා තිබු ප්‍රකෘති  ආධ්‍යත්මික සංස්කෘතික පරිසරය නැතිකර ගත් මිනිසා ජන සන්නිවේදන මාධ්‍ය හරහා ගොඩනගා ගත් කෘතීම , යාන්ත්‍රික පරිසරයක සිරවී තම  විඥානයට බලපෑම් එල්ල කරගනිමින් සිටියි.තම ක්‍රියාවන් දැඩි පාලනයකට ලක්වී තිබෙන බව තමාටම  වැටහීමක් තිබුනත් ඉන් මිදීමට මිනිසාට නොහැකිය .
    අද බාල පරම්පරාවට අදාල දැනුම ,සාරධර්ම  ලබාදෙන්නේ  වැඩිහිටි පරම්පරාව විසින් නොවේ , දැනුම සහ සංස්කෘතිය ,සාරධර්ම නිෂ්පාදන ආයතන විසිනි . ඒවා නිෂ්පාදනය කරන්නේ මහාද්වීපයන්ට එහා සැතපුම් දහස් ගණනක් දුරිනි .
එය ගෝලීය බලපෑමකි .ඒ අනුව පන්සල පාසැල වැඩිහිටි අහෝසි වී යයි. වර්තමාන සංස්කෘතිය ප්‍රාග්ධන ආයෝජනයේ  මුලික ක්ෂේත්‍රයකි .ඒ අනුව සමාජ සංස්ථා සංකීර්ණ ,සුක්ෂම අන්තර්ගතයක් නිරුපනය කරයි .එය අවබෝද කරගත නොහැකි තරමට ගුප්ත හැගීම් සහ ක්‍රම විධි මගින් සංකීර්ණ වී තිබේ.මුලික ලෙසම මෙහි බලපෑම විවාහ ජීවිතය සමග බද්ද වෙයි.විවාහය මෙන්ම අඹුසැමි  ජීවිතයද  ගෝලීය දේහයක් බවට පත්ව තිබේ.
වර්තමාන  ගෝලීය ජනමාධ්‍ය වේද  ක්‍රියාශීලී සුක්ෂම  ලෙස නවීනමිනිසා සංසිදුවයි.වඩාත්සෞන්දර්යකරණය  සාමාන්‍ය වී තිබේ .වර්තමාන බහුජන සංස්කෘතිය තරුණ ආධ්‍යාත්මික ඇගයීමේ ස්වරූපයයි .මේ නිසා කලාව තුල අපුර්වත්වය ,අලංකාරය ,සුන්දරත්වය ,වින්දනය සොයනවා වෙනුවට විනෝදය පමණක් සොයයි.
උවමනාවට වඩා සුන්දරවීම තුල මිනිසාගේ ජීවිතය එන්න එන්නම අදුරු වී තිබේ .

වර්තමාන සමාජයේ සංස්කෘතික වටිනාකම තීරණය වන්නේ එහි ප්‍රදර්ශනාත්මක භාවය මත වන්න අතර  එමගින් ඕනෑම නිර්මාණයක් , සෞන්දර්යක් නිස්සාර බවට පත් කල හැකිය .නොගැඹුරු සාටෝප මිනිසුන් ඉන් බිහිවී  බෙලහීන චින්තනයක් බිහිව තිබේ.  
 (මතු සම්භන්ධයි  )

No comments:

Post a Comment